Monday 30 March 2009

ලව් කරන වයස

ආදරය කියන්නෙයි ප්‍රේමය කියන්නෙයි එකක්ද? නැත්නම් දෙකක්ද?
කොල්ලෙක් කෙල්ලෙක්ට 'මම ඔයාට කැමතියි' කියන්නේ මොකටද?
ආදරය උපදින්නේ රාගය නිසාද? ආදරයේ ‍උපරිමය රාගයද?
කෙල්ලෙක් තෝරගන්නේ කොහොමද?
යාළු උනොත් බඳින්නම ඕනෙද?
එකපාර දෙන්නෙක්ට ලව් කරන්න බැරිද?
කෙල්ල බාල වෙන්න ඕනෙද?
ලස්සන කෙල්ලෙක් වෙන්නම ඕනෙද?
මගේ පෙනුමට කැමති වෙයිද?
ඉගෙන ගන්න කාලෙ ඕව හොඳ නැද්ද?
ලව් කරන්න පටන් ගන්න හොඳම වයස මොකක්ද?

'ලව්' ගැන මට තියෙන ප්‍රශ්ණ.

තාත්තගෙන් අම්මගෙන් අහන්නයැ..!
කියල දෙනවද?

Sunday 29 March 2009

ටාටා නැනෝ

මගේ පැත්තෙන් බොහොම සතුටුදායක ආරංචියක් ලැබුණා දැන් ටික කාලෙකට කලින්.
ඒ ගැන බ්ලොග් සටහනකුත් තිබුණා. තාමත් ඉන්නනේ ඒ ආනන්දයෙන්!
ලක්ෂ දෙක තුනකට කාර් එකක්! බ්‍රෑන්ඩ් නිව්! මරුනේ!
ඉස්සර අපේ තාත්තාට මයිනර් කාර් එකක් තිබිලා තියෙනවා. අම්ම කියනවා මාව හම්බනේන ඉස්පිරිතාලෙට ගියේ ඒ කාර් එක ලොකු සීයලාගේ ගෙදර තියල, ඒගොල්ලන්ගේ කාර් එක ඉල්ලගෙන කියල. කොහොම හරි දැන් තියෙන්නේ ඒකෙ ෆොටෝ එක විතරයි, රෝද හතරේ වාහනේකට. අපේ ගෙදර වාහන 4ක් තියෙනවා. එකක් තාත්තාගේ තැපැල් නයින්ටිය. අනික තාත්තාගේ හම්බර් බයිසිකලේ. අනික අපි ඔක්කොම පැද්ද ට්‍රයිසිකලේ.
මම හරි ආසාවෙන් ඉන්නේ තාත්තා රෝද හතරේ වාහනයක් ගේනකම්. ඉස්සරනම් මම තාත්තාගෙන් නිතරම අහනවා අපි ගන්නේ මොනවගේ කාර් එකක්ද කියල. ඒත් ආණ්ඩුවේ කාර්යාලයක 'යටත් නිලධාරියෙක්'වන මගේ තාත්තාගෙන් එහෙම අහන එක වැරදියි කියල මට දැන් තේරෙනවා. කාර් ෆර්මිට් දෙන කාලේ නොදන්නා කමට ඇහුවා "බදුවලින් නිදහස් උනත් අපිට වැඩිය වටින කාර් එකක් ගන්න සල්ලි නෑ නේද තාත්තේ" කියල. "ඒ ෆෝර්මිට් තියෙන්නේ අපේ ඔෆීස් එකෙන්ම එකවුන්ටන්ට විතරයි" කියල තාත්තා හයියෙන් හිනා උනා. ඒ හිනා උනේ ඇයි කියල මට තේරුනේ එදා දවසටම තාත්තා වෙන එක වචනයක්වත් කතා නොකර හිටියමයි.
ටාටා නැනෝ කාර් ගැන දැන් සෑහෙන කාලෙක ඉඳන් දැනගෙන හිටිය. ඒත් අර සිද්දියෙන් වුණු කම්පනය නිසා වචනයක්වත් කතා කළේ නෑ ගෙදරදී. ඒත් තාත්තාම ඊයේ පෙරේදා කීවා "නැනෝ කාර් ලාභ ඉන්දියාවෙදි විතරයි වෙන්න ඇති කියල". මගෙ තියෙන් ගොන් කමට මමත් පැන්න ගමන් කීවා "නෑ ලංකාවෙදිත් ලාභ වෙයි, දැන් ඉන්දියාවත් එක්ක තියෙන වෙළඳ ගිවිසුම නිසා බදු නෑනේ කියල". තාත්ත එහෙම කිව්වේ ඇයි කියල මට තේරෙනකොට තාත්ත මගේ ඔළුවත් අතගාගෙනම එතනින් ගිහිල්ල ඉවරයි.
කොහොම හරි කමක් නෑ ඔය කියන ගානට ටාට නැනෝ ආවොත්නම් ....!