Sunday 29 March 2009

ටාටා නැනෝ

මගේ පැත්තෙන් බොහොම සතුටුදායක ආරංචියක් ලැබුණා දැන් ටික කාලෙකට කලින්.
ඒ ගැන බ්ලොග් සටහනකුත් තිබුණා. තාමත් ඉන්නනේ ඒ ආනන්දයෙන්!
ලක්ෂ දෙක තුනකට කාර් එකක්! බ්‍රෑන්ඩ් නිව්! මරුනේ!
ඉස්සර අපේ තාත්තාට මයිනර් කාර් එකක් තිබිලා තියෙනවා. අම්ම කියනවා මාව හම්බනේන ඉස්පිරිතාලෙට ගියේ ඒ කාර් එක ලොකු සීයලාගේ ගෙදර තියල, ඒගොල්ලන්ගේ කාර් එක ඉල්ලගෙන කියල. කොහොම හරි දැන් තියෙන්නේ ඒකෙ ෆොටෝ එක විතරයි, රෝද හතරේ වාහනේකට. අපේ ගෙදර වාහන 4ක් තියෙනවා. එකක් තාත්තාගේ තැපැල් නයින්ටිය. අනික තාත්තාගේ හම්බර් බයිසිකලේ. අනික අපි ඔක්කොම පැද්ද ට්‍රයිසිකලේ.
මම හරි ආසාවෙන් ඉන්නේ තාත්තා රෝද හතරේ වාහනයක් ගේනකම්. ඉස්සරනම් මම තාත්තාගෙන් නිතරම අහනවා අපි ගන්නේ මොනවගේ කාර් එකක්ද කියල. ඒත් ආණ්ඩුවේ කාර්යාලයක 'යටත් නිලධාරියෙක්'වන මගේ තාත්තාගෙන් එහෙම අහන එක වැරදියි කියල මට දැන් තේරෙනවා. කාර් ෆර්මිට් දෙන කාලේ නොදන්නා කමට ඇහුවා "බදුවලින් නිදහස් උනත් අපිට වැඩිය වටින කාර් එකක් ගන්න සල්ලි නෑ නේද තාත්තේ" කියල. "ඒ ෆෝර්මිට් තියෙන්නේ අපේ ඔෆීස් එකෙන්ම එකවුන්ටන්ට විතරයි" කියල තාත්තා හයියෙන් හිනා උනා. ඒ හිනා උනේ ඇයි කියල මට තේරුනේ එදා දවසටම තාත්තා වෙන එක වචනයක්වත් කතා නොකර හිටියමයි.
ටාටා නැනෝ කාර් ගැන දැන් සෑහෙන කාලෙක ඉඳන් දැනගෙන හිටිය. ඒත් අර සිද්දියෙන් වුණු කම්පනය නිසා වචනයක්වත් කතා කළේ නෑ ගෙදරදී. ඒත් තාත්තාම ඊයේ පෙරේදා කීවා "නැනෝ කාර් ලාභ ඉන්දියාවෙදි විතරයි වෙන්න ඇති කියල". මගෙ තියෙන් ගොන් කමට මමත් පැන්න ගමන් කීවා "නෑ ලංකාවෙදිත් ලාභ වෙයි, දැන් ඉන්දියාවත් එක්ක තියෙන වෙළඳ ගිවිසුම නිසා බදු නෑනේ කියල". තාත්ත එහෙම කිව්වේ ඇයි කියල මට තේරෙනකොට තාත්ත මගේ ඔළුවත් අතගාගෙනම එතනින් ගිහිල්ල ඉවරයි.
කොහොම හරි කමක් නෑ ඔය කියන ගානට ටාට නැනෝ ආවොත්නම් ....!

7 comments:

පොතේ ගුරා said...

සංවේදී වගේම ලස්සන ලිපියක්..උබලට ඉක්මනට කාර් එකක් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව!! :D

Sagara said...

"අපේ ගෙදර වාහන 4ක් තියෙනවා. එකක් තාත්තාගේ තැපැල් නයින්ටිය. අනික තාත්තාගේ හම්බර් බයිසිකලේ. අනික අපි ඔක්කොම පැද්ද ට්‍රයිසිකලේ."

මල්ලි, O/L ගණන් පාස්ද? නිකමට ඇහුවේ. ගණන් ගන්න එපා. :-)

කාර් එකක් ගන්න ඔච්චර සිහින මවන්න දෙයක් නෑ. රුපියල් 10,000ට 20,000ටත් second hand කාර් තියෙනවා. හැබැයි රන් කරන්න ටිකක් ශිල්පය දැනගන්න ඕනෑ. රුපියල් 125,000ක් තියෙනවානම් කරදරයක් නැති හොඳ second hand එකක් ගන්න පුළුවන්. කාර් ගැන, යාන්ත්‍ර විද්‍යාව ගැන ටිකක් දැනගෙන, හොඳ බාසුන්නැහැ කෙනෙක් අල්ල ගත්තාම හරි. පොඩ්ඩක් ඉතින් කට්ට කන්න ඕනේ. ගාන අඩු ඒකනේ.

Manushan said...

ඇත්තටම මමත් ප්‍රාර්තනා කරනවා ඉකමනට කර් එකක් ග්න්න ලැබෙන්න කියලා

දිමුතු said...

අද Observer එකේ තියනව Tata Nano මේ අවුරුද්දෙ අන්තිමට ලංකාවට ගේනවලු. AC එක්ක සියලු බදු සහිත මිල ලංකා රුපියල් 800,000/- විතර වෙයි කියලා ඒකෙ තියනවා.

malee_msg said...

ඔය හීනය මටත් තියනවා.. බලමු නේ...
හැකි ඉක්මනින් නිවසට රෝද 4 වාහනයක් පැමිණේවා...!

cool said...

ඕන් ඉතින් මේ අවුරුද්දේ අග කාර් එක එනවලු...ලැස්තිවෙලා ඉන්න තියෙන්නේ ගන්න...මම හිතනවා ඔයාට ඔය කාර් එක ගන්න පුලුවන් කියලා..මගේ සුබ පැතුම්....ගන්න දවසේ අපිවත් මතක් කරන්න....හොදේ...firefoxbeta

රයිගමයා said...

@ පොතේ ගුරා, මනුශාන්, මලී & කූල්

පිංසිද්ද වේවා! කවුරුවත් අමතක කරන්නේ නෑ.

@ සාගර

මයිනර් එකේ ෆොටෝ එකත් එක්ක!

සෙකන්ඩ් හෑන්ඩ් නරකම නෑ. ඒත් කිව්ව වගේ හොඳ බාස්ල තමා ප්‍රශ්නෙ. සතියට දවස් දෙකක්වත් ගැරේජ් එකේ ළගින්න බැරියැ.

@ දිමු

ඕකනේ කියන්නෙ. දෙගුණෙටත් වඩා වැඩිවෙලා.